Skip links

කියා දී යනු මැන මදක්!

පරඬැලක් විලස
ඉබාගාතේ ඇදී යයි
අපෙ ජීවිතය….

කවර තුරු හිසක, කවර අතු රිකිල්ලක
පෙති විදා විකසිත වෙද
කූමන මොහොතක
කුමන මද පවන් රැල්ලකින්
ගිලීහී වැටී දිරාපත් වෙද එය
සිදු නොවනු ඇත එය කිකලෙකවත්
අප පතන විලසට නම්….

මාන කොකෙකු සේ
දුර ඈත ඉගිලෙන
සිහින විහඟූන් අපේ
අතරමං වී වැහි කුණාටුවක
මිය යා හැකිය ඇතැමෙක්
මංමුලා වී යනු ඇත
තවත් පිරිසක්…

කී දෙනෙකු යළි පැමිණෙද ඉන්
කිව හැකිද මිතුර
ඔබට අඩමානෙටවත්….

විශ්වයේ ශක්තිය ගැනත්
බලාපොරොත්තුවේ ප්‍රබලත්වය ගැනත්
බොහෝ දේ පවසන්නෙහි නුඹ…

නොසැලෙමින් නොවැටෙමින්
ගිරි දුර්ග හමුවෙහි
පෙරට යන ගමනක් ගැන
කියා සිටින්නෙහි නුඹ
රැය පහන් වෙන තෙක්

උගුලක නොවැටී
වසඟයට ගැනුම එය
තපසක් මැයි
බොහෝ වර කීවේද එබව
නුඹ මැයි
සත්‍යයකි ඒ සියල්ලම
එහෙත් මේ සිත් රිදුම?

පාරන විටෙක මෙන් අල්පෙනෙති තුඩඟින්
රිදුම් ගෙන දෙයි
හිත පතුළ දැදුරු ව
ලේ ගලන්නා සේ දැනෙයි…..

භීතිය
විශ්ව රූපයක් සේ
අවකාශයේ නැග එයි…

අමතක කර සිත් මඬලින්
ඒ සියලු දේ සහමුලින්
හැබෑවට මදහසක් නඟන’යුරු
පමණක්
කියා දී යනවාද මට
මදක්…

(ලරීනා අබ්දුල් හක් ගේ “සොල්ලි වීට්ටු පෝ” කාව්‍යයේ පරිවර්තනයකි)

පරිවර්තනය -ජී. ජී සරත් ආනන්ද

ලරීනා අබ්දුල් හක් – ප්‍රකට මුස්ලිම් ලේඛිකාවක වන ලරීනා අබ්දුල් හක් සබරගමුව විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අංශයේ කථිකාචාර්යවරියකි. මේ වන විට ඇගේ කාව්‍ය කෘති, කෙටිකතා,විචාර, පරිවර්තන සහ පර්යේෂණ කෘති ගණනාවක් ප්‍රකාශයට පත්ව ඇත.

Leave a comment

This website uses cookies to improve your web experience.